අටුව කඩා පුටුව හැදුවා වගේ
ඔන්න එක්තරා ගමක වඩුරාල කෙනෙක් ජීවත් උනා. මොහු ලී වලින් මේස, පුටු, ඇඳන්, මේස, අල්මාරි වගේ හැම දෙයක්ම හදන්න ඉතාමත් දක්ෂයෙක්. ඉතින් මේ වඩුරාල හැමදාම ගමේ මිනිස්සුන්ට අහල පහළ ගම්වල මිනිස්සුන්ට ලී බඩු හදලා දුන්නා.
මේ වඩුරාලගේ ගෙදර ජීවත් වුණේ වඩුරාලයි ගම හාමිනේ විතරයි. ඉතින් එක් දවසක මේ ගෙදරට නෑදෑයෝ කට්ටියක් එනවා. වඩු වැඩ කරන්න කොයිතරම් දක්ෂයෙක් වුණත් මේ වඩුරාලගේ ගෙදර ඉඳගන්න නම් එක පුටුවක්වත් තිබුණේ නෑ.
ඉතින් නෑදෑ කට්ටිය ආවට පස්සේ ගම හාමිනේට ගොඩක් ලැජ්ජ හිතුනා. "ගෙදර වාඩි වෙන්න පුටුවක්වත් නෑ ඒකට මොකද වඩුරාළ කෙනෙක් නේද" කියලා ගම හාමිනේ වඩුරාළට දොස් නගන්න ගත්තා. ඉතින් මේ වඩුරාළ මොකක්ද දන්නවද කරේ?
ඉක්මනින්ම වටපිට බලලා ලී හොයන්න ගත්තා පුටුවක් හදන්න. ඉතින් වඩුරාල දැක්කා අටුව තියෙනවා. අටුව කියන්නේ කෘෂිකර්මාන්තයේදී ධාන්‍ය වර්ග ඉදිරි කාල සඳහා ගබඩා කරගනු ලබන උපකරණයක්. මෙය තරමක් විශාලයි ඒ වගේම ගොඩක් වටිනවා.
ඉතින් මේ මෝඩ වඩුරාල මේ අටුව කඩා දමලා ඒ ලීවලින් පුටුවක් තැනුවා. ගම හාමිනේ ටික වෙලාවකින් ඇවිත් බලනකොට මේ ගමරාළ අටුව කඩලා පුටුව හදලා තියෙන හැටි දැක්කා.
ඉතින් බලන්නකෝ ඉතාමත් වටින ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් ඊට වඩා වටිනාකමින් අඩු දෙයක් වෙනුවෙන් විනාශ කර දැමූ හැටි. අද සමාජයේ කෙනෙක් තමන්ට ප්‍රයෝජනවත් වන දෙයක් ඊට වඩා වටිනාකමින් අඩු දෙයක් වෙනුවෙන් විනාශ කර දමන අවස්ථාවක "අටුව කඩා පුටුව හැදුවා වගේ" යන ප්‍රස්ථාව පිරුළ භාවිත කරනු ලබනවා.
❤👌
ReplyDelete