ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වාගේ
ඔන්න එකෝමත් එක කාලෙක හිටියලූ බොහොම යාළුකමින් ඇසුරු කරපු ආඬි හත්දෙනෙක්. මෙයාලා තැන් තැන්වල ඇවිදලා රෑ වුනාම එක අම්බලමකට ඇවිත් නවාතැන් ගන්නවා. යාලුවෝ වුණාට එක්කෙනා අනික් එක්කෙනාට කපටිකම්මයි කරන්නේ.
ඉතින් කට්ටිය රෑ වෙද්දි කතා වුණා අද රෑට කැඳ බොමු කියල. පස්සේ වතුර හැලියක් ලිපේ තියලා කෙනෙක් තමන්ගේ හාල් මල්ල අරගෙන ලිප ළඟට ගියා. මල්ල ඇතුළට බොරුවට අත දාල මිටමොලවලා ඔන්න මගේ හාල් මිට අනෙක් අයට පේන්න දැම්මලු.
ඉතින් දෙවෙනි එක්කෙනත් ඇවිත් හාල් මල්ල ඇතුළට අත දාලා අනෙක් අයට පේන්න බොරුවට හාල්මිටක් දැම්මලු. තුන්වෙනි හතරවෙනි ආදී වශයෙන් හත් දෙනාම මෙහෙම අනෙක් අයට පේන්න බොරුවට හාල්මිට ගානේ දැම්මලු.
ඉතින් දැන් හත් දෙනාම ලිප වටේට වාඩිවෙලා කැඳ බොන්න බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝම බඩගිනි වෙලා තමන්ගේ භාජනයත් අරගෙන කැඳ හැන්දගානේ බෙදා ගත්තලු. ඒකෙ එක බත් ඇටයක්වත් තිබුණෙ නෑලු. කැඳ හැලියේ තිබුණේ වතුර විතරයි.
එතකොට හැමෝම මූණට මූණ බලා ගත්තලු. මොකද දන්නවද වෙලා තියෙන්නේ? තමන්ගේ හාල් ඉතුරු කරගන්නට අනෙක් අය රවටන්නට ගිහිල්ලා අන්තිමේදී එකිනෙකා තම තමන්ටම රැවටිලා. ඉතින් මේ හැමෝටම ලැජ්ජා හිතුනලු. එදා රෑට කට්ටියම බඩගින්නේ නිදාගත්තලු.
ඉතින් අද සමාජයෙත්ද පිරිසක් එකතු වෙලා සමගියෙන් වැඩක් කරන්න ලෑස්ති වෙනකොට තමන්ගේ වගකීම ඉටුකරන්නේ නැතුව අන් අයට බොරු කළොත් අන්තිමට වෙන්නේ හැමෝම එකිනෙකාට රැවටෙන එක විතරයි. ඒ වගේ තැනකදී "ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ" යන ප්‍රස්ථාව පිරුළ භාවිත කරනවා.
👌👌👌
ReplyDelete