Skip to main content

රයිගමයයි ගම්පලයයි වගේ

රයිගමයයි ගම්පළයයි වගේ



 

         ඉස්සර අපේ රටේ රජවරු විවිධ ප්‍රදේශවල වාසය කරගෙන රට පාලනය කළා. කාලයක් අනුරාධපුර අගනුවර කරගත්තා. ඒ කාලයේදී රයිගමට වගේම ගම්පලටත් රජවරුන් වාසය කළා.මේ ගම් දෙකම හරිම ප්‍රසිද්ධයි. මේ රයිගම ගමේ  හිටියා බොහොම ප්‍රසිද්ධ වෙළෙන්දෙක්. එයා රයිගමයා. එයා පිට පළාත්වලට බුලත් විකුණන කෙනෙක්. ගම්පොළ ගමෙත් හිටියා වෙළෙන්දෙක් නමින් ගම්පළයා. එයා පිට පළාත්වලට පුවක් විකුණන කෙනෙක්. වෙළඳාමේ යනකොට මේ දෙන්නා ගොඩක් හමු වෙලා තියෙන නිසා බොහොම හොඳ මිතුරන් බවට පත්වුණා.

       දවසක් මේ දෙන්නා කතා කර ඉද්දි රයිගමයා ගම්පලයාට කියනවා.ගම්පල මුදලාලි මට මේ පාර බුලත් ටිකක් විකුනලා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කියලා.ඒ නිසා මම හෙට උදේම බුලත් කදක් බැඳගෙන අම්බලමේ නතර වෙලා පාන්දරම වෙළඳාමේ යන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා.ගම්පලයත් මේක අහගෙන කියනවා මමත් මේ සැරේ පුවක් විකුණුවොත් හොඳ ලාභයක් ගන්ඩ පුළුවන් වෙයි කියල හිතනවා. ඒ හින්දා මමත් පුවක් කදක් බැඳගෙන අම්බලමින් නතර වෙලා පාන්දරින්ම පිටත් වෙන්න එන්නම් කියලා.මෙයා ළඟපාත ගම්වල බුලත් මිලදී ගැනීමට ගියා.                                                              

        ඊට පස්සේ එයා මෙහෙම කල්පනා කරනවා. ගම්පල ගේනවා කිව්වනේ හොඳ පුවක් කදක් මම ඒක එයාට නොදැනෙන්න ගන්නවා. දැන් මං බුලත් වෙනුවට ගම්මිරිස් කොළ කඩාගෙන මිටි බැඳලා බුලත් කදක් විදියට හදාගන්නවා කියලා. මේ අතරේ ගම්පලය පුවක් මිලදී ගැනීමට ගියා. එයත් හිතනවා ෂා මට පුළුවන් මෙහෙම වැඩක් කරන්න රයිගම ගේනවා කිව්වනේ හොඳ බුලත් කදක් මම ඒක එයාට නොදැනෙන්න ගන්නවා. දැන් මම පුවක් වලට නිකරුනේ මුදල් වියදම් කරන්න ඕන නෑ. පුවක් වෙනුවට කිතුල් ඇට එකතු කරගෙන කදක් විදියට හදා ගන්නවා.දෙදෙනාම ඒ විදිහට කදවල් හදාගෙන කතා කරගත්ත විදිහටම අම්බලමට ආවා. දෙන්නා තොරතුරු එහෙම ටිකක් කතා කර කර ඉඳලා රාත්‍රියේ  නින්දට යන අතරතුර දෙදෙනාම හිතනවා අනෙකාගේ කදට තමන්ගේ කද මාරු කරගන්නේ කොහොමද කියලා.                              

            පසුදා උදේ පාන්දරම රයිගමයා නැගිටලා ගම්පලයාගේ කදත් අරගෙන පිටත් වුනා. ඊට පස්සේ රයිගමයට උදේම ඇහැරුණේ නැති නිසා ගම්පලයාගේ කද අරගෙන ඔහුත් පිටත් වුණා.දෙදෙනාම කදවල් මාරු කරගත්ත නිසා මුණ ගැහෙන්නට බැරි දුර පළාතකට පිටත් වෙන්නට වුණා.ඉන්පසුව දෙදෙනාම සතිපොළට ගොස් තමන්ගේ කද විශාල පිරිසක් ඉදිරියේ විකිණීම සඳහා දිගහැරියා. රයිගමයා පුවක් යයි සිතා කිතුල්ඇට  මිනිස්සු ඉදිරියේ දිග හරිමින් ඉතාමත් ලැජ්ජාවට පත්වුණා.  ගම්පලයත්  සතිපොළේදී බුලත් යැයි ගම්මිරිස් කොළ විකුණන්නට ගොස් ලැජ්ජාවට පත්වුණා. නිදාගන්න තැනදී කදවල් මාරු වෙලා කියල දෙදෙනාම බොරු කියමින් ඉක්මනින් සතිපොළෙන් මාරුවෙමින් ඉවතට ගියා.                           

            එයාට තමන් වගේම ගම්පලත් හරි කපටි වංචාකාර කෙනෙක් බවට තේරුනා. ගම්පලයටත් තමන් වගේම රයිගමයත් හරි කපටි වංචාකාර කෙනෙක් බව තේරුණා. දෙන්නට දෙන්නා රැවටුණා. තකට තක දෙන්නටම තමන්ගේ කපටි වංචාකාර බව හෙළිදරව් වීම ගැන හරිම ලැජ්ජයි.දෙන්නම හිතා ගත්ත අය කවදාවත් දෙන්නට දෙන්න හමුනොවී ඉන්න. වස ලැජ්ජයිනෙ මූණ බලන්න. රයිගමයයි ගම්පලයයි පස්සෙ හමුනොවුණට ඒ වගේ අය ඕන තරම් අපි අතර ඉන්නවා.ඒක නිසා රයිගමයයි ගම්පලයයි වගේ කියන ප්‍රස්ථාව පිරුළ සමාජයෙන් කවදාවත් ඈත් වෙන්නේ නැහැ.

Comments

Post a Comment

Popular posts from this blog

ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ

           ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඔන්න එකෝමත් එක කාලෙක කැලෑවක උගුඩු පවුලක් වාසය කළා. මේ පවුලේ උගුඩු අම්මයි තාත්තයි උගුඩු පැංචෙකු යි හිටියා. ඉතින් මේ තාත්තා මේ පැංචට පොඩි කාලෙම කිව්වා ඇටි කෙහෙල් කෑමේ විපාක ගැන.  දවසක් මේ උගුඩුපුංචා කැලෑවට ගියා. කැලෑවේ ඇටිකෙහෙල් කැනක් තියෙනවා දුර ඉඳලම මේ පැංචා දැක්කා. "තාත්තා කිව්වේ කන්න එපා කියලනේ  ළඟට ගිහින් බැලුවට මොකුත් වෙන්නේ නෑනේ" කියලා මේ පැංචා ගහ ළඟට ගියා. රසද කියලා බලන්න එක ගෙඩියක් කාලම බලනවා කියලා කෑවා.  මෙහෙම ටික වෙලාවක් යනකොට මේ උගුඩු පුංචා අර ඇටි කෙහෙල් එක එක අරගෙන මුළු ඇටි කෙහෙල් කැනම කෑවා. ඉතින් මේ උගුඩ පුංචා හවස් වෙද්දි ගෙදර ගියා. ගෙදරට වෙලා හිටියා.  අනේ ටික වෙලාවක් යනකොට උගුඩු පුංචගේ බඩ හොඳටම රිදෙන්න ගත්තා. මළපහ කරන්න බෑ හරිම වේදනයි. "අනේ මන් තාත්තා කීවදේ ඇහුව නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා උගුඩු පුංචට හිතුණා" අද අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දෙමව්පියෝ කියන දේවල් ගණන් ගන්නේ නෑ. බලන්නකෝ අන්තිමට උගුඩු පුංචට උන දේ. ඒ නිසාම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අහන්නෙ නැති වෙලාවකට "ඇටි කෙහෙල් කා...

නයයි පොළඟයි වගේ

                     නයයි පොළඟයි වගේ ඔන්න එකෝමත් එක කාලයක ලොකු නියඟයක් ආවා. කැලේ සතුන්ට බොන්න වතුර බිංදුවක්වත් නැතුව ගියා. ඇළ, දොළ, ගංගා සියල්ලම සිඳී ගියා. දවසක් හොඳටම වතුර තිබහ වුණු නයෙක් ගමකට ගියා වතුර ටිකක් හොයාගෙන.  මෙහෙම ටික දුරක් යනකොට එක ගෙදරක මිදුලක බේසමක පුංචි බබෙක් නානවා දැක්කා. ඉතින් මේ නයිහාමි බේසමෙන් බබා නාන ගමන්ම වතුර ටිකක් අරගෙන බිව්වා. ඉතින් මේ පුංචි බබා නයාට බය වෙලා අතේ තිබුණු කෝප්පෙන් නයාට ගැහුවා.  අනේ මේ නයි හාමි පුංචි බබා එක්ක තරහ උනේ නෑ. එයා පොඩි ළමයෙක්නෙ කියල හිතලා එයාට දෂ්ට නොකර ගුටි පාරවල් ඉවසාගෙන කැලේට යන්න ගියා. මේ යන අතරේ වතුර නැතුව හොඳටම අමාරුවෙන් බඩ ගාගෙන එන පොළගෙක් නයිහාමිට මුණගැහුනා.  "අනේ නයිහාමි ඔයා නම් වතුර බීලානේ. "මම හරිම තිබහෙන් ඉන්නේ වතුර බිව්ව තැන අනේ මටත් කියන්න කිව්වා"ඉතින් නයි හාමි එයාට වතුර හම්බවුණ විදිහ කියලා කිව්වා "ඔයත් ගිහින් වතුර බොන්න හැබැයි ඒ දරුවා මොනතරම් කරදර කරත් ඒ දරුවාට දෂ්ට කරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා"  එහෙම පොරොන්දු වෙලා ගිය පොළොංහාමි අර පුංචි බබා න...